පාසලේ ඉතිහාසය

Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png

අතිත සිදුවිම් අනාගත පරපුක අත්තිවාරමයි වසර 125 කට පෙර ස්වභාව සෞන්දර්යයේ අසිරිය දනවන රමණිය වන පියසක් අසබඩ භුමියක ගොඩ නැගුන ඊරියගොල්ල  නම් විදුපියස පිළිබද අතිතාවලෝකන මෙසේ සටහන් කරමි. හරිත වර්ණයෙන් යුත් තුරුලතාවන් ගෙන් සුසැදි මනරම් වන පෙතකින්ද නිල්ල පිරුණ තණ පදුරු වලින්ද ගලායන නිල්වන් දිය දහරාවකින්ද අලංකෘත නිසංසල ඊරියගොල්ල නම් ගම් දනව්වෙහි ශත වර්ෂයකට එපිට යුගයක රෝපිත ඊරියගොල්ල මහා විද්‍යාලය නමි ස්වර්ණමය බීජය තුළින් දසත පැතුරුණ මහා වාක්ෂය දෙස කන්නානියම් මූකලාන නම් වු වන පියස විදු පියස ආරක්ෂා කිරීමට බැදි ඇත් පවුරක් සේ උපේක්ෂාවෙන් බලා සිටියි.සොල්බරි සාමිවරයා විසින් රෝපිත මහා සියඹලා වෘක්ෂය මේ බිමේ සිදු වූ සියල්ල දකිමින් අකම්පිත ගුණයෙන් තාමත් අපේ කාලයේ දරුවන්ගේ මීමුත්තකුසේ දරුවන්ට සෙවන සදමින් විරාජමානව විදුපියස ඉදිරියේ බලා සිටියි .

            සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලනික අංශයන්හි කීර්තිමත් ඉතිහාසයක නිම්වළලු පුළුල් කළ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් ඊරියගොල්ල මැදි මහ විදුහල කංකානියමුල්ල නම් නිසල පරිසරයෙහි පිහිටි ඉඩමක 1895 දී ළමුන් 4 කු ගෙන් කටුමැටි ගැසූ පොල් අතු මඩුවක ආරම්භ කෙරිණි. වසර 125 ක අභිමානවත් යුග මෙහෙවරක එකල නියුමුවා වූයේ කේ.ඩී. පීරිස් මුල් ගුරුතුමායි. දහසකුත් බාධක අභියෝග හමුවේ ඉදිරියට ගොඩ නැගු මෙම පාසල එදා මුළු පළාතටම අධ්‍යාපන ක්ෂේම භුමියක් විය .

            වර්ෂ 1905 දි රජයේ මිශ්‍ර පාසලක් ලෙස මෙය නම් කළ අතර පසුව එය 1915 සිට ගැහැණු හා පිරිමි ලෙස වෙන් වෙන්ව පාසල් දෙක් ලෙස පවත්වා ගෙන ගොස් ඇත. මෙ අයුරින් බොහෝ අභියෝග හා බාධක ජයගනිමින් මෙම පාසල ගොඩනැගීමේ සුවිශේෂ දායකත්වය දැරුවෝ බොහෝය දේශයට අමිල දු පුතුන් දායාද කිරීමට වෙරදැරූ මෙම පාසල කළුවළා වලින් වැසී ගිය අවස්ථාද නැතුවා නොවේ .

            50 දශකය තුළ මෙම විදුහල පළාතේ ජනප්‍රියතම පාසල බවට පත් කිරීමට එවකට මුල් ගුරු හේරත් මහතා සුවිශේෂී මෙහෙවරක යෙදී  ඇත විසිතුරු මල් වලින් ,එළවළු හා පළතුරු උයන් වළින් පාසල් බිම ස්වයංපෝෂිත කර ඇත. ඒ තුළින් සමස්ථ ප්‍රදේශයටම එළවළු හා පළතුරු බෙදා හල මානවිය කම්හලක් ලෙසින් පාසල් ඉතිහාසයට ස්වර්ණමය පිටුවක් එක් කර ඇත.

            1968 ජනවාරි 01 දින මෙම පාසල රජයේ මිශ්‍ර පාසලක් ලෙස ආර්.කේ.වි. අප්පුහාමි මුල් ගුරුතුමාගේ කාලයේදි ප්‍රකාශයට පත්වීම විශේෂ  සිද්ධියකි.එමෙන්ම දේශපාලනික යුග පුරුෂයක් වුත් අධ්‍යාපන ඇමතිවරයෙක් වූත් ඉමියා මුදියන්සේලාගේ රැපියල් අප්පුහාමි හෙවත් අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිදුන් මෙම පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස ඔසවා තැබීමට අවංක උදාර කැප කිරීමක් කළ බවද එනිසා එතුමන්ට ගෞරවයක් ලෙසින් ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත මෙම විදුහල අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල විද්‍යාලය නමින් නම් කළ බවත් ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි.

            70 දශකය මෙම  පාසල අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපි පෙනෙන ප්‍රගතියක් පෙන්වූ බව එවකට මෙම පාසලේ උසස් පෙළ වාණිජ විෂය මාලා හදාරා වර්ථමානයේ ඉහල තනතුරු වලට පත්ව ඇති සිසු හඩ තුළින් පසක් වනු ඇත. මෙවන් යුග යුග පසුකරමින් පෞඩ ඓතිහාසික ගමන් මගෙහි ගල් බොරලු මත මිනිස් ගුණාංග  වලින් හෙබි  පරමාදර්ශි දරුවන් ලොවට දායාද කිරීමට සෑබැ ලෙසම උර දුන්නෝ බොහෝය. දේශපාලනික යුග පුරුෂයින් බිහි වු මායිමේ පිහිටි මෙම පාසලේ දරුවන් වනයේ සුපිපි වනමල් ලෙසින් පරව නොයන්නට ඔවුන්ගේ ගුණ සුවද දසත විහිදුවන්නට වෙර දැරූ විදුහල්පතිතුමන්ලා මෙන්ම ගුරු භවතුන්ද සදානුස්මරණිය වේ .

            1997 – 2005 එල් ධර්මසේන විදුහල්පතිතුමාගේ යුගය මෙම පාසල දැවැන්ත මානව,භෞතික මෙන්ම අධ්‍යාපනික ප්‍රගතියක්  ලබා තිබුණ බවට සාක්ෂි ඇත. නව දෙමහල් ගොඩනැගිල්ලක් , පරිඝණක ඒකකයක් , විද්‍යාගාර පහසුකම් මෙන්ම පුස්තකාල පහසුකම්ද මෙම පාසලට ලබාදිමටත්  එතුමා ක්‍රියා කර ඇත. එමේන්ම එතුමන් පැමිනෙන විට 216 ක් වූ ශිෂ්‍ය සංඛ්‍යාවද 600 දක්වා වර්ධනය කරමින් පාසලට යෝධ ශක්තියක් ලබාදිමට මෙම යුගයේදි එල් ධර්මසේන විදුහල්පතිතුමන් ක්‍රියාකර ඇති බව ඉතිහාසය දෙස් දෙයි. එමෙන්ම ආර්.බී වෙළගෙදර විදුහල්පතිතුමන්ද පාසල් ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් සටහන් කර ඇත. පාසල පත් වූ  අවදානම් යුග  පරදා විශ්මිත වෙනසකට නායකත්වය දීමට මෙන්ම දිගු කාලයක් පාසල ගොඩනැගිමේ අගනා මෙහෙවරක් කළ බවටද ඉතිහාසය සාක්ෂි දරයි

විදුහල තුළ විනය සුරක්ෂිතව පවත්වා ගනිමින් ගුරු සිසු සැමට ගෞරවණීය පරිසරයක් ගොඩනගමින් මෙම විද්‍යාලය දීප්තිමත් විද්‍යාලයක් බවට පර්වර්තනය කිරීමට එල් මහින්දසිරි විදුහල්පතිතුමන් මෙන්ම පි.එල්. යු. දයාවංශ විදුහල්පතිතුමන්  දැවැන්ත මෙන්ම  සුවිහේෂි මෙහෙවරක් කල බවද පාසල ස්වර්ණමය මාවතකට හැරවීමට මෙතුමන්ලා  කටයුතු කර ඇති බවද ඉතිහාසය කියා පායි.  ඔවුනගේ කැපවීම තුළින් පෝෂණය වු මෙම පාසලේ දරුවන් සමස්ථ ලංකා ජයග්‍රහණ දක්වා මුවහත් කිරිමේ ගුරු භූමිකා මෙම පාසල සතුව තිබීමද සතුටට කරුණකි.

වසර 125 ක් පැරණි මෙම විදුහල වර්ථමානයේ දරුවන් 400 ක් පමණද අධ්‍යයන /අනධ්‍යයන කාර්යය මණ්ඩලය 40 ක පිරිසක් ද සමගින් වත්මන් විදුහල්පති එම්.එම්.එන්.එස්. මාරසිංහ  විදුහල්පතිතුමන්ගේ නායකත්වය යටතේ පුනර්ජීවනය කරා ගමන් කරමින් සිටියි. හිටපු පාරිසරික ඇමතිතුමන් පවා අකුරු කරවු මෙම ස්වර්ණමය භූමිය දිවයිනේ ඉහලින් දිදුලන පාසලක් බවට පත් විම  පාසල හා ප්‍රජාවගේ පරම සිහිනය වනු නොවනුමානය.

 

ආරම්භ කළ වර්ෂය

1895

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

04

මුල් ගුරුතුමාගේ නම

කේ.ඩී. පීරිස්  මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ඊරියගොල්ල මහා විද්‍යාලය